ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මගේ රුව ඇඳි සිත්තරා වෙත…….

මගේ රුව ඇඳි සිත්තරා වෙත…….

චන්දන ගුණසේකර - ලන්ඩනය (ලේඛක, පරිවර්තක)
2023-May

මගේ රුව ඇඳි සිත්තරා වෙත…….

නිරිඳුන් අණ ලැබ තෙලි තුඩ අබිමුව

නිරුවත් වූයෙමි යට ගිය දවසක

කඳුළු සැලූයෙමි වැවක් පිරෙන්නට

සරණක් නොලැබුණි අපගේ කරුමෙට

ඉපැදුණු දා සිට රැකගත් විළි බිය

මගෙන් උදුරගෙන ලොවටම පෑවට

සිත්තර, මා කිසි අමනාපය නැත

නුඹ නැටුවේ තවෙකකුගේ පදයට

සිත්තර, මා ඇස කඳුළු නොඇන්ඳේ

සිතලාමද නැතිනම් නොදුටිද එය

නුඹෙත් නුවන් පිරි කඳුලැලි දුටුවෙමි

පුදුමයි සිත්තම ඉන් බොඳ නූනට

මාගේ විළිබිය සොරකම් කළ රජු

පැසසුම් ලබනා ලොවින්ම අද දින

අපේ කඳුළු හා නුඹෙ හැකියා ගැන

ලොවේ කවුරු නම් කතා කරාවිද?