ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මගෙ කළු කෙල්ල

මගෙ කළු කෙල්ල

විල්සන් හෑගොඩ
2021-August

හමුවන නොයෙක් දේ සඟවා පපුව මැද
පෙන්වයි නැවත එහි තොරතුරු අසල හිඳ
මට ඔබ නැතිව ජීවත්විය නොහැක ලඳ
ඔබගේ ඇසුර ඉහළම සොම්නසකි අද

බොරු කළ නොහැක දැක ගත්දේ ඔබගෙ නෙතේ
සටහන පැහැදිළිව පෙන්වයි පුරුදු පතේ
එල්ලී මගේ උරපිට පා නඟන අතේ
ලක්දිව පුරා අපි ඇවිදිමු බොළඳ කතේ

අනුරාපුරේ ගල් කණුවක් අතර වැටී
පපුවට තුරුළු වී නිමවන තුරුම පටී
රන්මැලි සෑය පැත්තට ඇහැ ගහපු හැටී
අමතක නොවන්නට මගෙ මතකයෙහි සීටී

දළදා මැදුර ළඟ බිහිදොර ඉදිරි පිට
පියකරු දැකුම දැක ගන්නට තුරුළු කොට
මා ඔබ ඇහේ පිය පට කිති කවන විට
කෙඳිරූ අයුරු මතකද හුරතලිය තිට

මගෙ හිතවතුන් හට මා තරමටම සෙනේ
දක්වයි ඔබත් නිතරම ඇහැ ගැසුණු තැනේ
කළු කෙල්ලකට මේ තරමට කෙළෙහි ගුණේ
මට පුදුමයක් මෙනි කොහොමද පුරුදු වුණේ

බිහිසුණු දැකුම් දුටු විට බිය නොගෙන ළෙහී
පවසයි දුටුව ලෙස මුළු තොරතුරම එහී
පින්කම් පොළද ඉරිදා පොළ සිපිරි ගෙහී
වෙනසක් නොමැති ඔබ නංවයි සිනහ වැසී

මල්වතු උයන් වතු මැද ගං ඉවුරු වටේ
මගතොට ගෙදර දොර ඔබ මා සමඟ ගැටේ
මායා සිහින මේ ලස්සන සිහල රටේ
දුටුවිට පලිඟු ඇස තුළ ඉඟි විදුලි කෙටේ

ඇස කිති කවන විටදී පෙම් සහරාව
නංවන ‘කරක්’ යනුවෙන් ඉමිහිරි රාව
මගෙ කළු කෙල්ල කවුරුද මේ මිහිරාව
අනිකක් නොවේ මා අත ඇති කැමරාව