ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මගෙන් රතු මල් ගන්න

මගෙන් රතු මල් ගන්න

ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය
2023-January

මා දිනෙක එමි තිරව ඔබ හමුව සමු ගන්න
ඒ දිනය මට නොහැක සැක හැරව පවසන්න
සිතමි දිගු කලක සිට මල් මිටක් ගෙන එන්න
සුවඳ රතු මල් පිරුණ මල් මිටක් විය යුතුය

දිගු කලක සිට සිතමි මේ මහරු ශුභ ගමන
දිරි දෙමින් එමි තිරව ඔබ හමුව සමු ගන්න
මා දුරක සිට ඔබව දැක තිබෙන රුව සමග
තිත් සහිත රතු ඇඳුම හැඳ එදින ඔබ ඉන්න

එක් දිනක් මතක ඇත ඔබ කඳුළු සළමින්ම
දුර ඈත බලා ගෙන කල්පනා සයුරු තෙර
සුදුම සුදු මල් එතුව මාලයක් පැළඳ ගෙල
මට ඇසෙන ලෙස මුදුව ගීතයක් හැඬවු’යුරු

එදින ඔබ කඳුළු පිරි දෙනෙත් සඟවා සඳට
තුරු වදුළු සෙවනැල්ලෙ පා නගනු මා දුටිමි
රතු මළුත් පොකුරු බිම ඇඹරිලා ගොස් තිබුනි
මා දෙනෙත් විහිදලා ඔබේ මග දෙස බැලිමි

ඔබගෙ දුක පෙළෙන සිත විරිය ගෙන යන ගමන
දෙස මම ද නෙත් යොමන බව ඔබට හැඟෙනු ඇත
ඔබද එක්වී සිටින මාරුතය අඬ හැරය
මම දුටිමි බොහෝ විට රතු පැහැති සුළං මැද

හොරණෑව පිඹින ඔබෙ හිතවතුන් පිළි ගන්න
සැත සමග ඔබෙ ගෙලට දෙන පහර ඉවසන්න
සහසක්ම නගන නෙක වේදනා මුසු ශබ්ද
සැත මැදුරු දෙස හැරී හොරණෑව පිඹිනු ඇත

මා දිනෙක එමි තිරව ඔබ හමුව සමු ගන්න
දිගු කලක සිට සිතන මේ මහරු ශුභ ගමන
මහෝඝය ගලන දින මම සෙමෙන් ඇවිද එමි
රතු ඇඳුම ඇඳ ඉන්න මගෙන් රතු මල් ගන්න