ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පෝරුවේ මාරුව

පෝරුවේ මාරුව

නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර
2023-March

පිච්ච සමන් වරුසාවයි
සුවඳ ගගුල පිටාර යයි
සංගීතය දෝරෙ ගලයි
හනුමා වන්නම තුරඟා වන්නම
නැටුම් ගොඩයි – සද්ද ගොඩයි

අවුරුදු විසි පහක් පුරා
නිවසෙ සිටිය කෝකිලාවි
වේල් දමා – මල් ගවසා
සුරලොව බට සුරඟන සේ
පාද සළඹ ලෙළ දෙවනා
කැකිරි සිනා පරදවනා
සීරුවකට පාද තබා
නැග්ගාය දකුණු පසින්
මංගල පෝරු මස්තකයට
පොරුවට ගොඩ වුණේ
මගේ දියණිය වුවද
බැස ගියේ වෙනකෙකුය

පුතු ද මා එසේම ය
ගෙදර පහන සේ සිටියා
අක්ක මලෝ මල් දෙමිටයි
මව් පිය සෙනෙහස මැදිකොට
නිතර සිනාවෙන් සපිරුණු
පිය පුතු සමගිව සිටිනා
ගෙදර තිබුණ මැණික් පහන
නිහතමානි පහන් තරුව
ආදර බර රත්න පුත්‍ර
මංගල ඇඳුමින් සැරසී
වම් පසින් නැංගේය
පෝරු මස්තකයට

ගොඩ වුණේ මා පුතු වුවද
බැස ගියේ වෙනකෙකුය

මඟුල් බෙර අතරින්
උන් එදා පෝරුවෙන් බැස ගියා
දෙමහල්ලො තනි උනා
දරු දුකට හිනැහුනා

පෝරුවේ මාරුවෙන්
උපන් දුක හද විඳින
මව්පියන් හට සැවොම
උරුමයකි සදාතන