ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පොළ දා දුටිමි.

පොළ දා දුටිමි.

වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය
2022-December

පංමල්ලට බරව කොළ අතු පිරී ඇතී
වංපැත්තට ඇලව කාණුව කොනේයතී
මංසන්දියේ ඉටි කොළයට මුදා හතී
යන්තන් මහමෙරක බර බිම තියන්නැතී

හැටවිය පැන දුබල අතපය වාරු නැත
ඇටකටු බොඩිය සම් රෙද්දෙන් වසා ඇත
ගොටුකොළ මුගුණු මත විසුරා කඳුළු තෙත
ඉටුකළ යුතු බරෙකි වේලක ඉදෙන බත

සැපයක් කියා විඳ නැත ජිවිතේ පුරා
කපයක් කඹුර කඹුරා පිංකමුත් කරා
ඇපයක් කර මනාපය සුදු අඳින හොරා
හපයක් කරපු ජීවිතයකි නොමරාමරා

සායන බෙහෙත් නැතිකොට ඉස්පිරිතාලේ
පායන එක හොඳයි හති වැඩිවෙන කාලේ
රාවණ එනතුරා කැඳ බී සුනු හාලේ
ඈ යනයුරු කියයි මගෙ රට යන තාලේ