ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පාරවිශ්වය

පාරවිශ්වය

ඉඳුනිල් ඉලංගසිංහ - මැන්චෙස්ටර්
2022-December

ලොව හැරවූ නව නිපැයුම් ලැයිස්තුව
ජංගම මංජුසාවක එක් කැටි කෙරුව
හරි පුදුමයකි ලොව නැසෙනා අපූරුව
මින් පසු එන්නේ මොන දේ දැයි මේ අසව

විද්‍යුත්, පරිගණක, අංකිත හා ගණිත
ජනනය කරයි පෙර දා නොම වූ දත්ත
තව දුරටත් සඟවා ගනිමින් ඇත්ත
වෙනසක් ඇති කරයි සමාජෙ හරි පැත්ත

ටික්ටොක්, වට්ස් ඇප්, ඉන්ස්ටග්‍රෑම් මැවේ
ජංගමයෙන් නටනා කෝලම් වැඩි වේ
සංයමයෙන් කිසිවෙක් කිසි තැන නැති වේ
මින්දදයන් හිනට දෑත් තබන් තැවේ

වෙබ් අවකාශයේ පියවර දෙකක් තබා
මිනිසුන් ලෙසට බහුරු කෝලම්ද ඔබා
නොපෙනෙන යථා අර්තය ඉදිරියට තබා
මෙටා වෝස් නරක වුනත් තවම බබා

හරි තරඟයකි ලොකු ලොකු මිනිසුන් අතරේ
ධනය, ශ්‍රමය යොදමින් උපරිම අයුරේ
මෙටා වෝස් ජය ගත්තම උන් අතරේ
මොනවායින් මොනවා වේවිද මිතුරේ