ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පර පණ රකිමු

පර පණ රකිමු

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය
2022-February

එක එක නම් යොදා මුහුදේ ඇති මාලු
අල්ලා මරා කන්නේ ගුණ හින්දාලු
දැන දැන නැසූ බව අපි හින්දා මාලු
පන්සිල් රකින ඔබ ඇයි කන්නේ යාලු

අල්ලා කකුළුවන් දඟලන පණ ඉල්ලා
එලෙසම දමා මුට්ටියකට ගිනි අල්ලා
අමු අමුවේම තම්බා තුනපහ ගල්ලා
කන එක මිනිස්කම වේදැයි සිතපල්ලා

පිළිකුළ නොමැති නම් මළ සතෙකුගෙ කුණට
කා හැක ඔබට රස ගල්වා ගෙන යසට
එනමුත් දිවි තිබෙන කිසි සතෙකුගෙ පණට
අතවත් තැබීමට අවසර නැත ඔබට

කැළයේ තිබෙන නීතිය ඔබ දැක ඇතුවා
එකෙකුගෙ පණ නසා අනෙකගෙ දිවි රැකුවා
ඒ වන දහම මිනිසුන් හට කැප නැතුවා
මනසින් දියුණු අපි පර පණ රැක යුතුවා

සතෙකුගෙ පණ නසා මළකුණු නොකෑවට
කා හැකි රස කෑම ඇත ලොව පුරාවට
එනිසා මිනිස්කම ගැනවත් සිතා හෙට
අදිටන් කළ මැනවි මළකුණු නොකෑමට