ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පන්හිඳේ සුනාමිය

පන්හිඳේ සුනාමිය

දයානන්ද කන්නන්ගර - ලන්ඩනය
2023-January

පළමුවර සුනාමිය මුහුදුකර ජලයෙන්ද
මැයි නමය සුනාමිය රටපුරා ගින්නෙන්ද
දුක උරුම ජාතියක් ලෙසට දහදුක් වින්ද
තෙවනවර සුනාමිය පන්හිඳෙන් හමාවිද?
දැවි දැවී පිච්චෙමින්
දැවෙන රොටියක් ලෙසට
විඳවනා සුවහසක්
හුදී ජනතා සිතට
එකම ශක්තිය ලෙසට
තුලාවක් අතින්ගත්
යුක්තියේ දෙවගනට
පවිටු මේ දිවයිනට
සතරඅත සතරකොන
පතුරුවා අණසකට
කිරා මැන බලන්නට
කාලයයි !දේශයයි!

ධන බලය නිලබලය
කිසිත් මායිම් නොවන
යුක්තියට හිස නවන
තුලාවම ජයලබන
එවන්වූ දේශයක
හුස්මපොද හෙලන්නට
සුර අසුර යුද්දයක්
මේ අවැසි කාලයයි

වලාකුල් බැම්ම ළඟ
මාලිගා භූමි තුල
වැඩවසන හිමිවරුනි
ඉහළතල වැජඹෙනා
මහා නා හිමිවරුනි
ගොලුවන්ව බිහිරන්ව
රඟනලෙස ඇස් අන්ධ
විවේකය හැරදමා
කවිච්චිය ඉවත ලා
ඔබ පුදන අහිංසක
ජනතාව අතරමැද
නගනු මැන ඔබේ හඩ
එය අවැසි කාලයයි

රැකවලුන් පිරිවරා
සුදු ඇදුම් වතදරා
දෝත පුරවා පුදන
අල්ලසින් සොම්නසින්
හදවතේ පත්ලෙන්ම
පැනනඟින සෙනෙහසින්
අත බදින සුදුනූල්
පතන ආශීර්වාද
නවත්වා මොහොතකට
නැගෙන මේ ජනදුකට
ශක්තියක් වී රටට
එනු මැනවි ඔබ පෙරට

පල්ලියේ අල්තාර
අසල ඇති දනනමා
යතිවරුනි බැතිමතුනි
එකම එක මොහොතකට
දෑස් කන් පිසදමා
දකිනුමැන අසනු මැන
නීතියම සිගාකන
දනන්ගේ විලාපය!
යාතිකා මොහොතකට
කල්දමා සතියකට
මේ මහා මෙහෙයුමට
දෙනුමැනවි ඔබේ හඬ

යුක්තියේ හඬ තකා
ජෙරුසලම් භූමියේ
දිවි පිදු ඒ මහා
ස්වාමින්ගේ නමින්
ලබාසිත් පන්නරය
ඉදිරියට එනු මැනවි

කෝවිලේ යතිවරුනි
එලබ සිහියට පැමිණ
කෝවිලෙන් එපිට ඇති
ගොජ දමන උතුරයන
ජනහදේ පීඩනය
විදවනා කුසගින්න
දකිනුමැන මෙත්සිතින්

යාතිකා ගීතිකා
දෙවියන්ව සනසවන
සුවදදුම් වලින්එන
සුවද නැත හමන්නේ
නීතියක් නැති රටක
මලානික සිත දවන
හැගීමකි දැනෙන්නේ
දේව මණ්ඩල නීතී
රැකෙනවා ඇත තදින්
මනු ලොවේ දිවයිනේ
නීතී නැත රැකෙන්නේ
දෙවියන්ද අසරණව
උකටලී වී තදින්
බලාසිටිනා ලෙසට
නොහැක දැන් සිටින්නට
යතිවරුනි එනු මැනවි
දායකාදින් සමග
නීතියත් සාමයත්
සමගියත් ඇතිරටක
මැරෙමු හෙට අපි එකට