ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිලැස් ළමිස්සියන්ගෙන් අසමි

නිලැස් ළමිස්සියන්ගෙන් අසමි

කෞශල්‍යා ජයලත්
2023-March

වැස්සක් වැස්සාම
නිල් දෑස් උස්සා මුමුණන
සියොළඟ ම ගස්සා හිනැහෙන
නිලැස් ළමිස්සියනේ කියන්න

කවුද මැසුවේ මේ සළු?
පරදවන නිල් කටරොළු
නිල් මල් ගවුම් නිමැවුම්කරු
කීයක් ගත්තා ද රන්මසු?

වසත් වණ්ණා දාසිය
තවරද්දි සායම් කොපුලෙහි
රිද්දුවෙද ? හාදු දුන්නෙ ද!
අස්පගාණක් ගත්ත ද?

නැති ද නුඹලාට ගෙවල්වල වැඩපල?
බිඳ වැටෙන්නට පෙර විදුලිය
වැඩ පොදි ඉවර කරගන්නට කලබල

වැසි වැටෙන්නට පෙර
දර ලිපේ උයන යුධ ගිනි මැල

වැසි තුරල් වූ පසු
තෙත රෙදි වනාගන්නට බල බල

වැසි නැටුම් නටන පැටවුන්
පරිස්සම් කරනා කොලහල

දෙන්න මට වරමක් දිනකට
වැසි බිංදු හාදු වලින් නැහැවී
මඳ සුළං කිතියේ නැළැවී
හස කිනිත්තක් තුරුලුකරගෙන
නිල් ළමිස්සියක් වී සිනාසෙන්නට

( නිල් ළමිස්සියන් – Petrea volubilis )