ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිනව්වක් නැති ඉලව්වක්

නිනව්වක් නැති ඉලව්වක්

සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
2021-May

මළගමට වැඩලා නමක්
බැලූ බැල්මට රන් කඳක්
වාහනෙත් හරි ඉස්තරම්
සසර බැඳි කණුවක් තරම්

කවුද මේ මළගිය කෙනා
මුවාකර මුව
නමාගෙන හිස
බලන් සකිසඳ
කැරකෙනා ඇස

සැනින් වැඩියා මහ පතක්
ඒක කීමට යයි දිනක්
උඩින් පල්ලෙන් බලනවා මිස
කොයින්දෝ ඕවට ඉඩක්

තවත් මේ වගෙ කී පොලක්
නම් වැලක්, නම් වැලක්
නම් වැල,
අනත් නා රජ සේ දිගක්
අහවලාගේ අහවලා
අහවලාගේ අහවලා
අහවලාගේ අහවලා
අහවලා, අහවලා ගැන මිස
දෑත් බැඳගත්, ඇස් පියාගත්
උපාසක ගැන නෑ වගක්
අඩුම ගානේ කොම්බුවක්
වෙනින් කාගෙද
මළ ගෙයක්

වැරැදිලා වැඩියාද මන්දා
උන්දැගේ හිතටත් බරක්
නමට කිව්වෙත් වෙන එකක්
හත්තිලව්වේ මේ ඉලව් ගේ
මගේ නොව, කාගෙද එකක්
අනේ මොකටද මේ ඇබිත්තට
ඔන්න ඔහෙ ඉන්නවා මිසක්
අරින්නේ නෑ මම කටක්…