ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දුරස්ථභාවය

දුරස්ථභාවය

තිලකරත්න කුරුවිට බණ්ඩාර
2021-January

හෝරා දෙක තුනක් හිටියා
හොරණ බස් පෝලිමේ
දෙක තුනක් බස් යනතුරු
යන්න දුන්නා පිටුපසින් ආ අයට
එකම අසුනක් අල්ලගන්නට
යන්න කොළඹට
මුමුණ මුමුණා
සමීපව ඉඳගෙන
මාලතී මලක් වන්
මාලිකා මල එක්ක

ආකේඞ් උයන් තෙර
සුදෝ සුදට කැටයම් කළ
ආසන්න පුටු දෙකක වාඩි වී
ඇගේ නළලත අලකරොද
මගේ සුසුමින් සසල වෙද්දී
‘මිල්ක් ෂර්බට්’ එකක් අරගෙන
බිබී එක ‘ස්ට්‍රෝ’ එකෙන්
විඳි මිහිර
විඳින්නට බැරිය අද
වැසී ඇත සොඳුරු වත
මුදු සිහින් සිනා පොද
ඇඳුණු රත් දෙතොල් පෙති
රුදුරු මුව වැස්මකින්

දුරස්ථභාවය
හෙණපථය පාත් වී
අපෙ මධුර මිලනයට!