ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දැන්වත් හිතට වැටෙහෙයි මම පතමි අද!

දැන්වත් හිතට වැටෙහෙයි මම පතමි අද!

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය
2023-April

සීතලෙ ගැහි ගැහී හිටියේ දුර රටක
උනුසුම දැනුනි සිහිවන කල උපන් රට
දුරුතුවෙ දිනක ගුවනින් බැස ගිය සතුට
තවමත් රැඳී ඇත, එන්නේ නැත නැවත,

විඳගත් සුවය නෑ මිතුරන් දුටු විගස,
බැඳගත් විලස ගහකොළ මල් දුටු සැනක,
දින විසි අටක් ගතකල ඒ සුව රසය
සැනකින් ලිස්ස ගියෙ ඒ හිස වැදුන සඳ,

ලේ විල දුටු සැනින් ඇසුනා නලා හඬ
සති ගනනකට දැනුනා රෝහල් සුලඟ
රස බොජුනන් ලැබුනත් කිරිමැටි විලස,
දැනුනේ ගිලන් වත දෙනෙතේ ගැටුනු සඳ.

තෙරුවන් දෙසූ බණ නිතරම සවනෙ ඇත
අරුතක් වැටහුනේ අමිහිරි දැකුම් මත
“කිසිවක් සදා පවතීනු නැත” උතුම් පද
දැන්වත් හිතට වැටෙහෙයි මම පතමි අද!