ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දළ පූට්ටුවා ගේ ආත්ම කථනය

දළ පූට්ටුවා ගේ ආත්ම කථනය

බණ්ඩාර ඇහැළියගොඩ
2021-January

දළ කපා ගැනීම සඳහා ‘දළ පූට්ටුවා’ නමැති වනගත හස්තිරාජයා කුරිරු මිනිසුන් විසින් පසුගියදා ඝාතනය කරන ලදී. මේ පුවත අසා සංවේදී වූ කවියා ඇතුගේ සිතිවිලි කවියට නැංවූයේ මෙසේය.

“වෙසතුරු”නිරිඳු රජ කළ “සිවි” නමැති රට
ඇලි ඇතු විලස මා ජනිතව සිටින විට
හැම සම්පතම ලැබ දී රටවැසියනට
යුතුකම් කල අයුරු මතකයි තවම මට

“ජත්දන්තව” ඉපිද ලැබ බෝසත් වරම
බුදු බව පතා සිදුවිය පෙරුමන්  පිරුම
අල්ලා හොඬවැලෙන් ලේ වැගිරෙන තුරුම
දුන්නෙමි කපා ගන්නට මගෙ දළ   දෙකම

පින්බර, කිඹුල්වත, සුදොවුන් රජ දවස
මහමායා බිසව නින්දට වන් විගස
මහනෙල් මල සොඬින් ගෙන කුසයට පිවිස
ඉන් පිටවීමි කුමරුට ඉඩදෙනු පිණිස

හිමි වැඩ සිටි දවස අදමිටු කුහක සැම
එක්වී එකට කළ අවමන් නොවුණි නිම
වැඩියෝ පාරිලෙයි වනයට නිහඬවම
පළතුරු පුදා බුදුහිමි රැක ගතිමි මම

“නාලාගිරි” නමින් මා සිටියදී ඉපිද
මට රා පොවා බිහිසුණු කර ගත සිත ද
හිමි එන මගට එවුවේ මිනිසුන් නොවෙද
මම සිහි එළැඹ සිටියෙමි සිරිපා නැමද

රැකගනු පිණිස බුදු දම සහ මගේ  රට
යුද ගිනි නැඟෙන විට එරෙහිව එළාරට
මහරජ ගැමුණු රැකගත් යුද බිමේ සිට
“කඩොලැතු” මමය එය අමතක නොවේ මට

මගෙ   පරපුරට දෙන දස වද පෙර දවස
ඉවසා ගත  නොහී තෙත් වූ පසු දෙඇස
නොබියව පනාමුර ඇත් ගාලට පිවිස
වෙඩි කෑවෙමි රැහේ අබිමානය පිණිස

දළදා හිමි සහිත කරඬුව හිස දරන
දෙවොලින් දෙවොල ගෙන යන දේවාභරණ
විසිතුරු ඇඳුම් ඇඳ පෙරහැර හැඩ කරන
ඇත්  කුණ්ඩලේ   අපටම නැත රැකවරණ

ගේ දොර තනා යන මං අවුරා දමතී
එවමින් යකඩ යකු නෑ පිරිවර මරතී
කුම්භස්තල  දෙබෑවෙන ලෙස ගිනි බිදිතී
ගජමුතු සොයා අමු අමුවෙම දළ කපතී

ඒ දල කපාගෙන යන්නේ මිනිසුන්ය
රඳවා තබන්නේ මිනියක දෙපසින්ය
මා මිය ගිය පසුත් කෙරුවේ අවමන්ය
මළ කඳ ළග තැබිය යුත්තේ “ගව අංය”