ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජාතියේ මළ ගම

ජාතියේ මළ ගම

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්
2021-April

දැය රුක මුල හෙළ බස වග නො වැටහිලා
හෙළ බල මුළ නැහැ උවදුර ගැන හිතලා
වහරෙහි බල බස රැස සුරැකුමට නොලා
ඇති කිම පල, දැය රැකුමට ගිරිය පළා?

සරසවි තුළ හෙළ බස වහ කදුරු වෙලා
විදුබස නිල නීතියෙහි පර බසට ලොලා
පෙර පාසල යන ඉංගිරිසියට ගලා
සිහළෙහි කල දවස හොඳටම අඳුරු වෙලා

කොහි ද උරුම ඉංගිරිසිය රජ කෙරුණු
රැකෙ ද දැයක් පෙළපොතෙ පර බස යෙදුණු?
ගැහෙ ද හදක රිද්මය මවු බස සිඳුණු?
කිම ද නොවැටහෙනු බස මිය යන ලකුණු ?

ආදියෙ උරුම රැකුමට යුද වැදුණාට
වාපියෙ දාගබෙහි සවි තර කෙරුවාට
වීදියෙ සිහළ පුරසාරම දෙඩුවාට
ජාතියෙ පණ නැසෙයි හෙළ බස මළ දාට !