යසෝදරාවතේ සිත්ගත් කවි
යසොදරාවතේ සිත්ගත් කවි
දිව යහනේ බෝසත් නැගිට විගසිනේ
පිම්ම පැන්න ලෙස යමි මහණට ඉතිනේ
ඔන්න කවුද? දොරටුව ළඟ සිටින්නේ
චන්න මමයි දොරටුව ළඟ සුවාමිනේ
69 ක් හොඳටම කලේ ඒක…
සැප වැඩි වුනාම
කලකිරෙනවා
සිද්ධාර්ථ කුමාරයට
වුනේ ඒක
සැප නැති උනාම
එපාම වෙනවා
පෝලිං වල වල
ඉන්න මිනිස්සු
හිතන්නේ ඒක
මැද හිටියම
අතර මං වෙනවා
චන්දෙට කලිං
69 ක් හොඳටම
කලේ ඒක…
විසල් හදක කවි
උපුටා ගැනීම – සඳගිර පාමුල – 2015 දෙසැම්බර්
සදත් ඇතුන් පසුපස ආ ඇතිනි මෙන
ඇවිත් ඇහැ ලඟට රෑ හීනෙන් පෙනෙන
නොදත් නමුදු මා සිත විතර ද පමණ
එදත් නුඹ ම පමණය මා පැතු සෙවණ
හේමමාලිටයි………….
විසල් හදක කවි – මාර්තු
උපුටා ගැනීම – සක්වා ලිහිණි කාව්‍යය – 1962
මැණිකෙගෙ පැල ලඟින් මා යන වෙලාවේ
මල් වැස්සක් වැස්සයි නිල් වලාවේ
ඒකයි පැලට ආවේ සිහි මුලාවේ
වැහපන් හෙටත් මල්වැහි ඒ වෙලාවේ
සිතුවම එස්. එල් සෙනෙහෙධීර.
විසල් හදක කවි – මොකටද මල් වඩම්
(පුවත්පතකින් උපුටා ගන්නා ලදී )
නොගිහින් කිසි දිනක කිසිවකු පසු පස්සේ
ජීවත් වුනෙමි දහසක් කරදර අස්සේ
මගෙ දුක බලා කව්රුද එළියට බැස්සේ
මොකටද මල් වඩම් මට මැරුණට පස්සේ
කුමටද ගුණ කතා සැරසිලි වැඩක් නැතී
හොඳටම වැඩි උනොත් සුදු කොඩි දෙකක් ඇතී
මැරුණට පසුව කිසි කෙනෙකුට බරක් නැතී
මිනිසකු මළා කීවොත් මට එයත් ඇතී
ජීවත් වෙලා සිටියදි මව් පියන් හට
කන්නට අඳින්නට කිසිවක් නොදුන් නට
මැරුණට පසුව නම් ඉහළින් පෙනෙන් නට
පින්කම් කරනවා දෙව් ලොව යවන් නට
පුළුවන් කාලයේ හොඳ හැටි කන්න හපා
කිසිවක් නොදුන් දරුවෙනි දරු කමද නොපා
පණ යන මොහොතෙ බොරුවට ආදරය පපා
හිරවී මැරෙයි මොකවත් ගිල්ලන්න එපා
කවදා නමුත් දවසක මිය ඇදුන විට
නැති ගුණ ගයා රොක් වී ගෙන ගේ තුලට
මගෙ දරු පිරිස බොරුවට වත් අඬන විට
නැගිටිමි පෙට්ටියෙන් පුළුවන් උණොත් මට
විසල් හදක කවි
ඔබමය අපට මග පෙන්වන තරු ලකුණ
විසල් හදක කවි – ත්‍රිකාල නර්තකී
ඝන නිල ගගන ගැබ සිසාරා
නැඟි ගැඹුරු බෙර හඬ පලා
විවර වන්නී ඈ සබවෙත
තියුණු ත්‍රිකාල නර්තනය සමඟින්
ලොහො පිළිමයක් සේ නටරද දෙව්
කළු පැහැ රැගත් සිරුරින්
රඟන්නී ඈ අතීතයේ නට විලස්
අති විලම්භ ලය මානයෙන්
පිරිමදියි මැදි ලයෙන් වත්මන
ලැසි නැටුම් සුමියුරු ගම්භීර විලසින්
පුපුරවයි දෘත ලයෙන් විදුලිය විලස්
රුදු තාණ්ඩවය එළැඹෙන සමය වෙනුවෙන්
විටෙක නටයි තාණ්ඩවය පිය උරුමය ලත් විලසින්
විටෙක නටයි ලාස්යයම මව් පස උරුමය සමගින්
තවත් විටෙක දෙමුහුව ගෙන නටයි අර්ධනාරී මෙන්
නටයි ගයයි වයයි තෙකල් නර්තකි උමයඟන වෙසින්
(උපේකා චිත්‍රසේන ගේ සත්තෑවන ජන්ම දිනය වෙනුවෙන්
ලියන ලද කවි උපහාරයකි. චායාරුපය; ලක්ෂ්මන් නඩරාජා )
2021.05.19
අවමඟුල් තොරණ
සොහොන ළඟ තොරණ
හරි ලස්සනට ඇන්දාට
එන අයට තමයි ඒ
නොවෙයි මළ උන්දෑට
සුදු තමයි ගැළපෙනා පාට
දුක්මුසු දේට
එත් හැම තැන ම වගෙ
තියෙන්නේ කළු පාට
පෙති හැලෙන මලක්
ඇන්දොතින් පරවෙන රෑට
හොඳ වුණත් මල් මැරෙන බව
මතක දෝ කාට
කඳුළු බිඳුවක් අඳිමු
පෙනෙන්නට සංකාව
අමාරු ම නම් ඒක
අඳිමු අපි ලංකාව
(ගෙත්තම් පාණ, නවතම කාව්‍ය සංග්රහයෙනි )
විසල් හදක කවි – උගුල්ලා දැමුව ගස
උගුල්ලා දැමු පසුව
ගසක් හුන් පොළොවෙන්
මලානික මුහුණින්
ගස හිඳී ළපළු පත් පවා
බිම හළමින්
නව බිමෙක ඇදෙන්නට
තන්තු මුල් නැතියෙන්
ගස හිඳී මලානික මුහුණින්
කළා යැයි ඉර එළිය සොරකම්
පලාඵල නෙලූ අය පවා
කරන විට ගැරහුම්
ගසක් ඉවසිය යුතුද කෙතරම්
බිම වැටෙන විට දිනෙක
කිසියම්
ගෙන පොරෝ කියත්
ඔප දමමින්
හපා රසකර බුදින
සිහිනයේ කෙළවරක
ගස හිඳී ක්ෂාන්තිවාදීව
හිසනමාගත් වන ම තනියෙන්
පමාවනු නොදෙයි
බිම හැලූ පත් අසුලමින්
තැවෙමින්
ගසත් නරක ම ඉරණමට වුව
ඉතින් සුදානම්
31-12-2021
කොළඹ යුගයේ සිත්ගත් කවි – කවිකොළකාරයා
වම් අත කනේ කවි කොළ ටික දකුණු අත
හක්කේ බුලත් විට හප වී ඉවර නැත
නෙත් සැර වරින් වර යවමින් සෙනඟ වෙත
හඬ දී ගිරිය පාදා කවි කියනු ඇත
ගෙදරින් තරුණියක ගෙන ගිය පුවත හොරෙන්
බිහිසුණු මිනී මැරුමක වග රුහුණු කරෙන්
රිය අනතුරක සැණකෙළියක පැසුළු දොරෙන්
තොරතුරු ඇදී එයි මොහු වෙත විදුලි සැරෙන්
සුළු පුවතක් නමුදු ගණනට ගත නොහෙන
ඔපයක් අමුතුවෙන් දී නව පණ ගැහෙන
කවි වැලකට ගොතා ගෙන නවරස වැහෙන
කියවයි ගැඹුරු හඬකින් ඈතට ඇහෙන
පිංකම්පොළක ගම්බද වෙළෙදම් පොළක
බස් නැවතුම්පොළක හෝ මහා මං කඩක
කඩ මණ්ඩියක් රුක් සෙවනක් වැනි තැනෙක
මොහුගේ කට හඬට පිටුපා යා නොහැක
කිසි මගියෙකුට මුණ නොගැහී සිටිනු බැරී
එළිමහනකම හඬ දෙන විට කොතැන හරී
ආරංචියේ උණුසුම්කම අනුව හැරී
මොහු වට කොට බලා ඇත මහ සෙනඟ පිරී
මොහු පල කරන කවි කොළ එකිනෙක දේට
රසවත් වී තිබේ පොදු ගම් වැසි යාට
එක සත දහය ගණනේ මිල තිබු ණාට
විකිණෙයි දහස් ගණනින් සමහර දාට
නොදැනුම නිදහසක් කොට වියරණය මැරූ
වරදට මොහුට ගරහන්නා වරද කරූ
වැඩිහිටි ඇතැම් කවිවරයන් නුදුටු විරූ
රසවත් අලුත් නිමැවුම් ඇත ඔහුට හුරූ
තවමත් උසස් කවියක රස විඳින හැටී
මහ පඬිවරුන් නොදනිති හිටිවනම හිටී
මොහුගේ සරල කවිවල හඬ සමඟ ගැටී
කවි රස විඳීමේ හෝඩිය කියනු වටී
හැමදා කනට වැටි වැටි මොහු දෙන රාවේ
කවි රසිකයන් පිටිසර ගම්වල බෝවේ
කවි කොළ කාරයාගෙන් සිදුවන සේවේ
නොනැසී ඉතිරි වී සාහිතයට යාවේ