ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගිණි නිවමු මව්බිම

ගිණි නිවමු මව්බිම

ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය
2022-July

සුසුම් සමග දැවටි දැවටි එබිම බලාගෙන ලතවී
සියුම් මතක කැලති කැලති කවියක එතිලා ගුලිවී
සිසිල පිරුණ මේ හද තුල රත්වන විට ගිණි ඇවිලී
පැකිල කුමට ලත වන්නේ තබමු පාද වැල නොකැඩී

දිනිඳු කිරණ සමව වැදුන යායෙ වී කරල් පැසුනා
සතර දෙසට ගලන නදී කුමරි ආලයෙන් වෙළුනා
හරිත බරිත වන තුරුලිය විහඟ නාදයෙන් පිරුනා
කිමද ගලනු මෙබිම පුරා අඳුර ගිණි විසිර තවනා

නිහඬ වෙලා එම ගිණි මැද අසමින් හඬනා දරු දුක
ගඟට දරුන් ගෙන පනිමින් දිවි හැරයන මව් දැක දැක
රජ මැති සැම නොදකින විට ජනයින් විඳිනා එම දුක
කුමට තවත් ලතවන්නේ බසිමු වීදි නගමින් ගොස

කුල මල ජාතිය අවුලා නොමග යවා ජන සමගිය
වෙස්ගෙන මේ ලෙස එන විට රජ මැති කළ ශාප සැරය
නෙත් හැර බලනා ජන හද එක් කොඩියක සෙවනට වැද
මහ මග බැස කෑ ගසමින් සනසමු හඬනා ලක්මව