ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගාලු මුවදොරේ… සෙනෙහසේ අරගලේ…

ගාලු මුවදොරේ… සෙනෙහසේ අරගලේ…

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල
2022-May

දහඩිය වැකුණු සිරුරත
වැහි බිඳු වැතිරී
දාහය නිවූවද හද ගිනි
කඳු පිපිරී
පැතු මුත් ලොවක් සැනසුම
සාමය සපිරී
අද මිස හෙටක් නැත
යයි පැතුමන් විසිරී..

ඇස්බැන්දුම් වලට නතු වුන
ලෝකයක
නොසොයා දිග, පළල
හැඩ අන්සතු දෙයක
ඉල්ලන කෑ ගසා
අරමුණ ජීවයක
මන්දාකිණි පොළෝ මත
එක පන්තියක..

හිරු, සඳු, තරු කැකුළු
දිස්නය එක වාගේ
විඳ විඳ කම්කටොලු මුත්
වෙහෙසක් නෑඟේ
නිම් නැති හඬකි
සමුදුරු ඝෝෂය වාගේ
තාරුණ්‍යයෙ හඬයි ඒ
ලක් අම්මාගේ

දුන්නෙන් මිදී ඇදෙනා විට
ඊතලය
අරමුණ වෙතම යනු මිස
නවතනු බැරිය
ඩිජිටල් ලොවක ගෙන
හණ මිටි අඩුවැඩිය
නවතනු හැකි වේද
සෙනෙහස් අරගලය!!