ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගාල්ලෙ පචගහ යට මං හිටියා නේ බොලං!

ගාල්ලෙ පචගහ යට මං හිටියා නේ බොලං!

මාලපල්ලේ කුමුදු අමරසිංහ - උතුරු ලන්ඩනය
2021-June

සංකල්පය: දයා ආනන්ද රණසිංහ

සකල මනා දෙය තිබුණත්-නැති වාදය හිතේ තියෙන
මත වාදය කෙසේ වෙතත් පැන – පැන ගන්නේ
සකල සිරින් නොපිරි රට ද-එහෙව් රටේ අප කවුරු ද
තැන-තැන පොඩි කතා බහට- හැම කන් දෙන්නේ
හිතල-මතල බොරු-බේගල්- ඇද-ඇද කට රසට තියල
ගොන් අං නැති රැළකට – කඩිමුඩියෙ කියන්නේ
බතල කටින් හිටව-හිටව-එකා-දෙන්න ඇමිණෙන තුරු
පචගහ යට පචනේරිස් – බිම සරසන්නේ

කාටත් ඈ‌හෙන-නෑහෙන – ගානට වගෙ මුහුණ බලන්
කෝටුකෑල්ලක් අරගෙන – කොටුව අඳින්නේ
පාටත් හොඳ වගේ පේන-කෙනෙකු විලස අරිහෙළ හැඳ
තරමක වේගෙන් කට හඬ – අවදි කරන්නේ
ආවත්-නාවත් කවුරුත්-ඉන්න දොළොස්-පාළොස් දෙන
බලා නුහුරු මූණට රස – කතා කියන්නේ
මාවත් – පාරත් අවහිර – නොවන පචගහේ මුල සිට
පචනේරිස් දවසේ – කටයුතු අරඹන්නේ

මේ උදවිය හිතන්නෙ දැං-විකුණන්නට යමක් ගෙනත්
කීයට – කීයට හරි දී – මල්ල පුරෝ ගනී කියා
ඒ අදහස හිතේ තියං – හිටියට වරදකුත් නෑනෙ
මගේ අතේ කිසි ම දෙයක්- බලන්න ඔබ තියෙ ද කියා
උදේට කාලත් නෑ මං – දවල්ට කන්නේ කොහොම ද
දෙයියො-බුදුන්ගේ නාමෙන්- මට ලැබෙනව ඔබගෙ දයා
පදේට දිවි බෙරය වදින-වදින ලෙසට දෙපය තබන
අවසර මට පටන් ගන්න-දෙව්-බුදුන්ගෙ ගුණ ම ගයා
කුජ බුද රවි බෘහස්පතී-චන්ද්‍ර රාහු ශනි ද වෙතී
කොටු හිස් වී තිබෙන හතේ-ගත ලෙඩ වෙන්නේ
රවි පළවැනි තැනට නැතී-සඳු දහවල මතු ව ඇතී
දවස ම කලුකර නිති වැහි – කෝඩය දෙන්නේ
බුදගෙ දවස හොඳ පල දෙයි-කුජ කොහොමත් ඇදට හිටී
කේතුගෙ වගතුග ඇහුව ම – සුබ පල දෙන්නේ
එකී- නොකී- මෙකී- බෝම- හිරුට අයිති ග්‍රහයො දැක්ක
එහෙව් කෙනෙක් මේ සක්වල -කවුරු ද ඉන්නේ

හද්දකමට වල් පිටිසර-කොපමණ හොඳ දේ තියේ ද
නගර බැද්දෙ ඉන්නවුන්ට-පිටිසරෙන් ටිකක්
එහෙව් හද්ද කර්කශ ඉම-ඉඳල ආපු මං මේ වළ
ගෙනාවෙ ඒරොප්පෙ හැදූ- පුංචි පෙති ගොඩක්
ගමේ වැවෙන රස ගුණ පිරි-වැඩි ඖෂධ බලේ තියෙන
ගස්වල – වැල්වල සාරය – අරන් කළ වැඩක්
සුදු එව්වන් අපෙවුන්ගෙන්-ගෙන ගිය පුස්කොළ කියවල
අපේ ම බඩු අපට දෙන්න- හැදුව පොඩි දෙයක්
මං ඔය දේවල් කීවට -ගමේ වැවෙන දේ කන මට
කිව්වට පිළි නොගත්තාට -නැහැ කිසි ම ලෙඩක්
දියවැඩියා, හද කැක්කුම්, පීඩනයට රුහිර ගලන
අක්මා, වකුගඩු අමාරු-වලට හොඳ කෙමක්
ඇස් අමාරු, කන් අමාරු – හිරු රුදාව, ඇඟ රුදාව
පැනල යන්නෙ හරියට පිණි- දුටුව වගෙ ඉරක්
හැබැයි පුතෝ මේ බේතට – සෙම් අමාරු ඇඟ ඇත්නම්
නාන්න බැහැ හත් දවසක් වෙයි එය වදයක්

දුරක ඉඳන් ආපු නිසා – හිරු මූදට පනින්ට පෙර
ආපසු යන්නට ඇති – වුවමනාවට වඩා
ආපු එකේ මේ නගරෙට – මේ ඩිංගත් කියල ම – මං
ඉවර කරන්නම් පෙති ටික – ආයු වඩ-වඩා
ඒරොප්පේ සිට ආවත් – කොළොම්තොටට බැස්සත් සකි
මිලට ගන්න යන්න වෙන්නෙ- කොළඹට ම කඩා
කොළඹදි රුපියල් දහයයි – පචගහ ළඟ හරි ලාබයි
ඇත්නම් රුපියලක් – දෙන්න ලාබනේ අඩා!
දැන් නම් හරි හැන්දැවෙලා – පිටිසර ඉම දුරක නිසා
යන්නයි මං දැන් හදන්නෙ- ගන්න තවත් ඉන්නවා ද
උඩ සාක්කු-යට සාක්කු – අත පොවලා දැන් බලන්න
කීයක් ළඟ තිබුණත් මං – බේත දෙන්න ගන්නවා ද
මං දන්නව – මං දන්නව – හිත තිබුණට මුදල් නෑනෙ
ගිනි දී මං විකුණන්නේ – නැති බව දැං දන්නවා ද
අතේ තියන සත විසිපහ – පණහෙ කාසි-දහ-පහළොව
ඉවර කරල යන හින්දා තව කවුරුත් ගන්නවා ද

දවසට එක පෙත්ත ගානෙ – නින්දට පෙර මෙය ගත්ත ම
යහනෙදි පොර පිටියෙ සද්දෙ – ඇහෙයිනෙ හරි-හරි විදියට
කෝකට තෛලය වාගේ-මේ පෙත්තත් ඒ වාගේ
බෙහෙත් හතර – පහක් ගන්න- අවැසි ම නෑ පෙර විදියට
කාලෙත් ඉතුරුයි ඔහෙලගෙ-මුදලුත් ඉතුරුයි ඔහෙලගෙ
බලන්න අරගෙන මේ පෙති – මාස දෙකක් එක විදියට
ආයෙත් මේ පචගහ යට-හමු වෙමු තව බෙහෙත් සමඟ
යන්ට අවසරයි දැන් මට – ආයුබොවන් මේ සබයට!!!

ලිව්වේ : 10.02.2021 දා ලන්ඩන් කවි ජූනි 2021 කලාපය සඳහා