ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කැබලි

කැබලි

වෛද්‍ය නිලූෂි වීරප්පෙරුම
2022-March

මට දැන් හදවතක් නැත
ඇත්තේ ලේ පිරුණු පැසකි
හැඩයක් නැතිව ඇලවූ පැලැස්තර ඇති
ඉස්සරට වඩා රිදුම් දෙන තුවාලයකි

ආත්මය කුඩාම කැබලි වලට ඉරිතලා
කැඩී කැබලි වී විසිරී ගියේය
මම පුලුවන් තරම් කැබලි අහුලා
එකතු කරගෙන ඈතට පලා ගියෙමි

පිටතින් නොපෙනෙන
ඉතා ගැඹුරු කැපුම් තුවාල
රාත්‍රීයේ නැගිට සිහින හරහා
වේදනාව සිහිපත් කර දෙයි

මට දැන් හදවතක් නැත
ඇත්තේ මතක පොතක මතකයකි
මට ඉතිරිව තිබුනේ එකම උත්තරයකි
මම එය සොයා පලා ගියෙමි

හැකිතරම් ඈතකට දිවගොස්
සැගවී සිට -ඒ කැඩුණු බිදුණු තැන්
පිරියම් කරනෙමි-පිරිමදිමි
මට ඉතිරි වූයේ ඒ කැබලි පමණකි

15-02-22
ඔක්ස්ෆර්ඩ්.