ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කාක නාද

කාක නාද

කෞශල්‍යා ජයලත්
2023-January

කටුනායක කඳුළු විලේ
නෙළුම් නෙළූ නැගණී
නෙළුම් මාල ගෙලේ බැඳන්
තුටින් සිනා නොවුණී
නෙළූ නෙළුම් මඩිස්සලේ
කහවණු වී දිලුණී
තණමල්විල වැව් මිදුලේ
ගඩොල් ගෙයක් මැවුණී

අප්පච්චිගෙ ඇඳ වියලේ
සැනසිලි සඳ ඇලුණී
අම්මාගේ චීත්තවල
නැවුම් කුසුම් පිපුණී
සෙරෙප්පුවල හිල් පතුලේ
හැංගුණ නෙත් කෙවෙණී
සපත්තු හිස ලා රජ වී
ඉස්කෝලේට ඇදුණී

නළපාන නළුව අජානේය
අසරුවෙකුව පැමිණී
ඇතෙක් බරට නෙළුම් නෙළා
දෙම් රැවටී සකුණී
උදෑසනින් විල් කොපුලේ
කාක නාද ඇසුණී
රාජාලි ළඳක සෝකී
නැළවිලි ගී මුමුණමිනී