ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කවියක් නොව

කවියක් නොව

නිශාන්ත ප්‍රීති සෙනරත්
2021-August

මජර සමාජ ක්‍රමයක නැති බැරිකම විසින්
ළමා මෙහෙකාර සේවයට ඇද දැමූ
අපේම දියණියකගේ අවාසනාවන්ත කථාව

අයිය, අක්කා, නංගි සහ මම…
එකම කාමරෙ ගුලිවෙලා
හිටියෙ වත්තේ පුංචි ලැයිමක
කෙළිදෙළෙන් නිති තුටුවෙලා…
නොදැනුනත් දුක හිතට කවදත්
කුසට නම් බඩගින්න දැනුණා..
වත්තෙ තේ ගස්, කඳු, පීලි ළඟ
තිබුනෙ හිත් පොඩි නැවතිලා…

අම්ම අප්පා සීත උදයෙම
බංගලාවේ වැඩට යනවා…
අයියා දවසක..මම අනිත් දින
නංගි, මල්ලී බලාගන්නට
නොගොස් පාසැල් ගෙදර ඉඳලා
සියලු වැඩපල කරනවා…
දිරපු වහලෙන් රෑට අහසේ
පුංචි තරු කැට පේනවා…
වැස්ස ආවොත් පොළවෙ ගොම මැටි
දිය වෙලා මඩ ගලනවා…
උහුලන්න බැරි හීතලට අපි
තුරුළු වී කවි කියනවා..

“කඩේ ණය පොත පිරිල කියලා
මුදලාලි බඩු දුන්නෙ නැහැ අද
බලනු මැන දෙවියනේ නෙත හැර
නොකා නිදියන මගේ පොඩි වුන් ”
අම්මා අහසට හූල්ලන කොට
අනේ මගෙ හිත අඬනවා…
මටත් රහසින් කඳුළු බිඳු බිඳු
ඇස් කොනෙන් බිම හැලෙනවා….
ගත්ත ණය ටික නැවත ඉල්ලන්
යක්ෂයින් හැමදාම එනකොට…
තාත්තා අසරණව ඔවුනට
අපේ දුක ගැන කියනවා…
ගහලා යාවිද..උන් තාත්තට??…
පුංචි අපි ටික මේසයේ යට
බයෙන් හැංගී ඉන්නවා…

කවුද මාමා කෙනෙක් දවසක…
තාත්තා හමු වෙන්න ඇවිදින්
අම්මා සමගින් තිදෙනා රහසින්
මොනවදෝ මුමුණනවා ඇහුනා….
අපේ අම්මා ඒ කථාවට
හරිම අකමැති බවක් දැනුනා….
ලංවෙලා මම හොරෙන් ඇහුවා
මොනවදෝ ඒ කථා වෙන්නේ…

” ලොකු වැඩක් නැහැ ඒ ගෙදර නම්
මහ මිනිස්සුත් හරි හොඳයි ..
පුංචි බේබි.. සමග සෙල්ලම්
කරන්නයි දරුවෙක් හොයන්නේ
කෙල්ල ඉස්කෝලෙක යවන්නට
ඒ මහත්තුරු කැමත්තත් දෙයි ..
මාසෙකට විසි දාහ ගානේ
උඹලටත් ඒ අය ගෙවයි …”

මාස දෙක තුන ගෙවී යනකොට
පුළුවනිනෙ අපෙ ණය ගෙවන්නට..
කෙල්ල ආපහු ගේමු එතකොට
තාත්තා දුකකින් කියයි .
අරුංගලයක් පුංචි කෙල්ලගෙ
කන් දෙකට අරගෙන දාන්නට…
දරු පැටව් හට රහට වේලක්
දෙකක් දවසට කන්න දෙන්නට….
හීන ලෝකෙක තනිවෙලා ඔහු
තවත් මොනවද කියනවා…..

පපුව පැලිලා මැරෙන්නට වගෙ
දුකින් මගෙ හිත දැවෙනවා…
නංගි , මල්ලී , අයිය වෙනුවෙන්
මොනව හරි මම කරනවා…..

කොළඹ යන්නට දවස ආවා
මාමා සමගින් රෙදි පොදිය ගෙන
බස් එකට මම ගොඩ උනා…
මගේ වයසේ පුංචි දරුවෝ
වත්තෙ පාසැල වෙතට යනවා…
කෙළි දෙළෙන් අපි නටපු කඳු වැටී
වේගයෙන් පසු කරන් යනවා…
ආයේ කවදා මෙහේ එන්නද
පුංචි මගෙ හිත අඬනවා…..

තාප්පෙන් වට වෙච්ච ගෙදරක
මාව තියලා සල්ලි අරගෙන…
මාමා කියනා මිනිහා හනිකට
නොකියා යන බව ගියානේ මට…

අනේ ඒ ගෙයි කිසිම දවසක
පොඩි එකෙක් මම නැහැනේ දැක්කේ…
උදේ ඉඳලා දවස තිස්සෙම
ගෙදර වැඩ ඉවරයක් නැහැනේ…
මේසේ පිරිලා කෑම තිබුනට
පුංචි තැටියක දාපු බත් ටික
මාළු නැති හොදි බිඳක් සමගින්
විතරමයි මට කන්න දුන්නේ….
රැවුම්, ගැරහුම් ගුටි පහර මිස
“මිනිස්කම” මට නැහැනෙ දැනුනේ….

ගෙදර එළියේ රෑට කළුවර
කාමරෙක මා දාල වැහුවා..
අනේ මට හරි බයක් දැනුනත්
දුක කියන්නට අම්මා නැහැනේ…
දෙවියෝ නැහැ මගෙ දුක අහන්නේ
අනේ ඇයි මට මෙහෙම වෙන්නේ????

දිනක් දවසක මහ රැයක මැද
කවුද දොර ළඟ එළියේ ඉඳගෙන
අගුළ අරිනවා තේරුනා මට….
කවුද මේ රෑ…මොකද එන්නේ ……

එදා සිට මම කිසිම දවසක
දැක්කෙ නෑ ආලෝකයක්…
ජීවිතේ මගෙ වසාගත් මහ
අඳුරු මූසල මස් කඳන් මිස…..

භූමිතෙල් හා ගිනි පුපුරු සිරුරට
වැටුනෙ කොහොමද මමද නොදනිමි..
නොමැත මට වෙන ලෝකයක් යළි
සමාවුව මගෙ අම්මෙ මා හට
සමාවුව මගෙ අප්පා මා හට
අයියෙ මල්ලී හමුවෙමුය අපි
කවද හෝ යළි මේ බවය තුල

ගින්දරෙන් මේ තරම් විගසින්
මනස පිරි තිබු කුයිල පිළිකුල
සුසුම් සෝ දුක් සන්තාපයන්
දැවී යයි මා දැන සිටියෙ නෑ …………