ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කජු පුහුලන්

කජු පුහුලන්

කාෂ්‍යප ප්‍රේමචන්ද්‍ර
2022-May

බිම් කරුවල ගිලිහී අරුණළු නැගෙති,
සැවුළන් හඬා හිරු ලඟ එන බව කියති,
සූටිකි,බටිත්තං නොඉඳුල් පැණි උරති,
කපුටන් කූඩුවෙන් පිටවී දොර වසති.

සිරියා බූරු ඇඳ උඩ නිදි වකුටු වෙලා
ඇහැරී බලයි ඇයි දුම් කඳ ගෙපැල වෙලා,
අම්මා කුස්සියේ ලිප ලඟ පරල වෙලා,
රොටි දෙකක් මැටි ඇතිලියෙ වකුටු වෙලා.

ගොමස්කඩ සරම පොරවාගෙන නැගිට,
පෑළ දොරෙන් පැන
පිලිකණු කෙලවරට,
රිංගා හරක් මඩුවේ
සුද්දී ලඟට,
සැරසෙයි දොවා ගන්ට කිරි
මුට්ටියට,

පළමුව ගෙනාවා උණුදිය
කොරහකට,
බැලුවා අත පොවා ඇති බව උනුසුමට,
සෝදා තන බුරුළු පිරිසිදුවන ලෙසට,
දෙව්වා කිරි කළය මදි නොවනා ලෙසට.

කිරි මුට්ටිය තබා අම්මගෙ රැකවරණේ,
අනෙක් කාරියට ඔහු යන්නට හැරුණේ,
සීතල පිණි මතින් ඈතට
පා තැබුනේ,
අක්කර පනහෙ පොල්වත්තයි දුර තිබුනේ.

අක්කර පනහෙ රතු හාමුගෙ පොල්වත්තේ
අඟල් හයට කම්බිය
ගහලා ඇත්තේ,
කණු පෙළ ලඟම අගලක් කපලා ඇත්තේ,
දිය පුරවා විස කටු සඟවා
ඇත්තේ.

රිංගා කම්බියෙන් වත්තට ඇතුළුවෙලා,
අඩි හතරේ දිය අගලත්
තරණෙ කළා,
කජු ගහ ඉළක්කය ඒ තෙක් ගමන් කළා.
කජුගස් දෙක තුනම සැනෙකින් සුද්දකලා.

කජු ගහ මුදුණේ,
පුහුලන් හැදුනේ,
කජු ගෙඩි රැඳුනේ,
පුහුලම අගනේ,

කහ පාටට, රනේ රුවට
පුහුලන් හැදිලා,
තක දොං
පුහුලන් හැදිලා,
රසබේරෙන පැණි ඉස්මෙන්
පුහුලන් පිරිලා
තක දොං
පුහුලන් පිරිලා.

වවුළන් හපලා,
පුහුලන් වැටිලා
ගහයට පිරිලා,
කජුගෙඩි හැළිලා.

කැහැපට ගැසූ සරමේ කොක්කණේ හදා,
කජු ගෙඩි, පුහුලන්ද
පුරවා ගනියි බදා,
මිනිහෙක් බරට කජු පුරවා සරම හදා,
සිරියා ගෙදර දුව ආවා
විරිය යොදා.

හොඳින් ඉදුණු පුහුලන් හතරට පලලා,
ඒ මත මිරිස් කුඩු, සහ ලුණු කුඩු හලලා,
හොඳහැටි තැම්බෙන්ඩ දුම්මැස්සේ තියලා,
සිරියා දුවන්නේ රොටියේ ඉව දැනිලා.

කජුගෙඩි හතලිහෙන්
ගෙන ආ ඒ අහුලා,
විස්සක් විතර තැබුවා මුට්ටියෙ ඔබලා,
අනෙක් විස්ස ආයෙත් සරමේ දමලා,
වලකජු පොලට දිවුවා
කොලු රැල හොයලා.

අල්ලක් තරමට රවුං ගන්නලා,
කාරුව ගල් පතුරෙන් හදලා,
වච්චය ඇඳලා,
අතකුරු ගහලා,
කජු වල ඉස්මත්තට පොලලා.

කජුගෙඩි සේරම දිනාගන්නවා,
වලකජු කෙලියට
හරි රුසියා,
පෙන්දා හින්දා
පරාද උනහම
උන්ටත් කජු දෙන
කජු පතියා.

ගිනිගොඩ ගහලා කජු ගෙඩි දමලා
කජු පුච්චන්ඩත් හරි රුසියා,
අවුරුද්දට කජු මාළු හදන්නට,
හත් මාලුවටත් කජු ඒදන්නට එකතුකරනවා
මේ සිරියා.