ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔබ මහ ගඟක් වී…..

ඔබ මහ ගඟක් වී…..

සුනේත්‍රා යූ ආර් වනිගසේකර
2021-February

ඔබ මහ දෙරණ ලෙස ඉවසා සිටින විට
ඔබ දැන නොසිටියත් ඔබ ලඟ හුනිමි මම
අප හමු වුනේ නැති මුත් හැම නිතරකම
ආදරයක් තිබේ ඔබ ගැන මහද ගැබ

ඔබ මහ ගඟක් වී සැමදා ගලන කල
ඔබගේ සිහිලසින් සරතැස නිවනු මැන
සත් අරිදමින් පොහොසත් ඔබ සිටින විට
බිය සැක කිසිත් නොමවේ අප කිසිවකුට

මරණය නියත බව නිරතුරු දුන සිටිනා
මහ සඟරුවන ඇසුරෙහි නිබඳව සිටිනා
කලයුතු සියළු යුතුකම් කරමින් සිටිනා
ඔබ දෙවඟනකි යෙහෙළිය මිහිපිට සිටිනා

දිදුලන තාරකා මැද පුන්සඳ ඔබය
නොපිපුණු කුසුම් අතරෙහි සුපිපුණු මලය
බිතු සිතුවමක් සේ නොබිඳුණු මිතු දමය
මතු අත් බවෙත් ඔබ මට ලංවිය යුතුය

මතු භවයේ මනුසත් බව ලබනතුරු
එය අබිබවා දෙවිසත් කම ලබන තුරු
පරසතු මදාරා දෙව්ලොව පිපෙනතුරු
නන්දන උයනෙ සිටිනෙමි ඔබ වඩිනතුරු

නන්දන උයනෙ සිට මම මල් දම් ගොතමී
ඔබ ආ පසුව එය ඔබ ගෙල වට දමමී
එහි සිටියත් අරිඅට මග මම වඩමී
එකම ධර්ම මණ්ඩපයක නිවන් යමී