ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඒ අමුතු නිල් පාට !

ඒ අමුතු නිල් පාට !

අසංක රුවන් සාගර
2022-November

වැරදිලා හෝ පාඩමට
මේ තරම් කාලයක්
නිල් මහනෙලක කිව්
ඒ මලේ පෙති පාට

එය නොවේ ඒ නිල් පාට

ඔබට මතකද,
කලින් නොකියා ගෙවදින
වළාකුළු ඇවිත් ඉහ පිට
මන්දාරම පිරූ හවසක

නීල මේඝ!
ඔබ කිව්වෙ මේඝදූතයෙ
නිල් පාට

අදින් අවුරුදු දොළහකට
වගේ ඉස්සර දවසක
අධිවේගෙ යද්දී
ගැලනිගම පැත්තෙ අහසක

දේදුන්න !
මං තමයි ඔබට පෙන්නුවෙ

“ආන් අර මං කියන නිල් පාට ”

මං නෙවෙයි එය නෑ කිව්වෙ ..

ඉන්ඩිගෝ කියන්නෙ ඒකට!
……………………………………

අදත් මං ඒ පාරෙන්ම
කොළඹ එනකොට
අනෝරාවෙ

මං බයයි දේදුන්න දකින්න
බැරි වෙලා හරි
ඒ අමුතු නිල ඇහැ ගැටෙන්න

ඔක්කොමත් හරි,

වෙළඳ සේවෙට වැස්සෙම
නන්දාමාලිනී ඇවිදින්
මොකුත් දන්නැති ගාණට

” දේදුනු පායා පාට වැටෙනවා ” කියද්දි

හුස්ම හිර කරන් අහන්න !