ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

එලොව ගිය සැමියාට…

එලොව ගිය සැමියාට…

පුෂ්පලතා කැකුළාවල
2023-April

තිබුණාට මහ ගොඩක් හීන හිතෙ තද කරන්
සිතුවේම නෑ මෙහෙම දුකක් ඉන්නට දරන්
ගියවේලෙ දරුවන්ගෙ කඳුළු වැල් නුඹ අරන්
මහරෑට පිල්කඩේ මම සුසුම් ලන තරන්

තනියා මහ රෑ මැදම වැදි හේනට එදා
පෙරලා දැම්මලු පැල් කොටේ නුඹ සිටි නිදා
විඳලා වේදනා ගත් මහාපොළොව බදා
තනිවී වෙහෙස ගමී දරුවන් ගන්න හදා

තිබුණෙ නෑ කිසි දෙයක් හේනෙ කපලා ගන්න
උන්ට කැඳ වතුර ටිකක් වත් හදලා දෙන්න
අතත් මිරිකා හොරෙන් මුදලාලි බඩු දුන්න
බැලුවෙ ණය හිලව්වට අපේ ගෙට ගොඩ වෙන්න

ඉන්න තැනින් ඇවිත් හිමියනි හීනෙන් අත වනාපන්
යන්න බෑ උබැහැට එහෙම අපිට කවුදැයි හිතාපන්
දුන්න මෙ ගිනි ලෝක පාලන දෙවියනි දැන් නිවාපන්
ගන්න මගෙ අත සසරෙ සරණා හැම භවෙකම පතාපන්