ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආච්චිගෙ මළ ගෙදර

ආච්චිගෙ මළ ගෙදර

චන්ද්‍රලාල් ද සිල්වා - කොළඹ
2021-November

සුදු වියන් බැඳි ටෙන්ට්වල හිඳ
ප්ලාස්ටික් පටු ඇඳන් සුදු රෙදි
අඬ ගසද්දී ඈඳි ගන්නට
දවල් කාලේ ඉදල හිටලා
ඇවිත් යනවා
කෙනෙක් දෙන්නෙක්

රෑ බෝ වී එද්දි
අඩ අඳුරෙ මුළු ගැන්ව
මදුවිත රස බලන
ඥාති හිතවත් පිරිස්
සතුටු සාමීචියේ
සිනාසෙයි තරුණ කැළ
මග දෙපස තැනින් තැන
සිගරැට් බීඩි දුම
පරයා නැගෙයි
පිලිස්සෙන ගඳ
අමු කොළ

පාට සළකුණු
නළලෙ තැවරුනු
විවිධ හැඩ ඇති
මැති ඇමතිවරු
වටකර ගෙන
හාල්පාරු සහචර නඩ
හැරිල යනව ආ පයින්ම
පෙන්වන්නට හිතවත් කම

ඕමි ගහන කැරම් ගහන
පාඵ කපන හිතවතුන්ට
විඩෙන් විඩේ සත්කාර
බිස්කට් නෙස්කැෆෙ

ගෙදර දරු මුනුපුරු කැළ
මුන ගැසී අමුත්තන්
කරයි ආරාධනා
“එන්න කෑම ටිකක් කන්න
බුෆේ එක අල්ලපු ගෙදර”

ආච්චිගෙ මළ ගෙදර