ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අළු පාට මල්..

අළු පාට මල්..

යෂිකා විජේසිංහ
2022-November

හිරු නැගී හිරු බැස
ගියා පමණයි
ගෙවුන හැමදා
එක වගෙම
වසන්තය අවසානයි කියා
ඔබ එතැයි මග
බල බලා පිබිදුනු
අවසාන කුසුමද
ගිලිහුනු පසුව
නිහඬවම
කාලය ගෙවෙනු ඇත..

සබඳ…
ඔබ එනවා නම් එක වරක්
හැකිද කල් තියා දන්වන්න

තුරු පත් හැලී
නෙක වර්ණ වියැකී
හිමෙන් වැසුනද හාත්පස
එවිටත්
උණුසුම්ව ඇති මා හද…
මිරිකා හැරිය හැක
පණ පොවනු පිණිසම
ඉපල් වී ගිය අතු ඉති පතර
පුබුදන්න එකම එක මලක්
නුඹ නමින්..
සබඳ..
වර්ණ වියැකුණ බැවින්
තැවරුවද එහි
අළු පැහැය
මුව තබා සිඹ බලනු මැන
සුවඳ පෙරදා වාගෙමය..