ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අස්වැසුම

අස්වැසුම

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - එංගලන්තය
2021-December

ප්‍රේම සැඩ සුළඟක ගසායන
පුතුගෙ දෑසින් වැටෙන කඳුළක
රුදුරු රළ මහ මේඝයක් වී
ගෙදර වහලම ගිලී අඳුරක

සුසුම් සුළඟින් වැනෙන ගහ වැල
ඇඹරි ඇඹරී තලයි හදවත
නටුව ගිලිහුණ පැතුම් දළු කොළ
ඇදී යයි බිම දිගේ දස අත

කර කියාගත දෙයක් නැති පුතු
පියාගේ උරහිසට බරවෙයි
විරහ ගිනි ලෝ දියේ ගිලෙමින්
පිදුරු ගස් වල පවා එල්ලෙයි

ගෙදර පහනත් නිවී ගිය පසු
මමත් ගෙදරම මුලු ගැසී ඉමි
ඉතින් අපි හිත හදා ගෙන ඉමු
බිඳෙන සුළු වෙයි ලෝකයෙම බැමි