ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අරුණෝදය

අරුණෝදය

සමන්ත කේ. සෙනවිරත්න
2021-December

විඩා නිවි දිනකර නැවුම් හැඟුමන් මුසුව
කඳු මුදුන් මත එළා සිනිඳු අරුණළු සළුව
වළාකුළු සමඟ නිරත වී සුහද කතාවක
සුබ නැකැත පැමිණේය නව දිනක් අරඹන්න

කරුවලට බය නිසා රෑ තිස්සෙ සැඟව ගිය
පුෂ්පයෝ සිනාවෙති යළි එබී තුරු අතර
මුණ ගැහෙන මඳ පවන තවරමින් තම සුගඳ
විඳින්නට ඒ පහස බිඟුන් රැළ දැන් එයිද

කෙත් යාය හැඩ කරන් නැළවෙමින් තාලයට
ගලන දිය දහර තුළ පෙණ බිංදු පෙම් කෙළින
තරගයට අල්ලන්න අතු රිකිලි හිඳ දෑල
කඩිසරව ගලන සඳ නවත්වනු හැකි කෙලෙස

ගම්මැද්ද සරසන්න කිරි වදින නව ගොයම
රිවි කිරණ දරාගෙන පෙන්වමින් රන් පැහැය
වැව් දියට මායිම්ව අත වනන වනරොදක
රඟන මොණරුන් පෙනෙයි මහඟු සිතුවම් විලස

පින්න සුදු මුතු පලස එළා තණ පිටිය මත
වසු පැටවු රැඳෙති තන බුරුල්ලේ උණුහුමට
විමසන්නෙ එක හඬින් ස්වර වයන සියොත් කැළ
අලස වී නිදි යහන මත සිටිනු කවුරුන්ද