ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අම්මා කෙනෙකුගේ සාක්කිය

අම්මා කෙනෙකුගේ සාක්කිය

ගාමිණී සුමනසේකර
2021-January

(නීතියේ ගෞරවය රැකීමට වරද පො‌ඩි වුවත් දඬුවම් දෙයි – පුවතක්.)

තාත්තගෙ නම ළඟින් හිස් තැනක් තිබුනාට
චන්ද්‍රසෝ‌මේ කියයි උප්පැන්නෙ විදිහට
හො‌ර ඔප්පු හදා ගන්න බැරි උනේ කරුමෙට
ළඟම පාසල තමා ඌ‌ ගියේ අකුරට

තාප්පය තිබුනෙ නම් ඇ‌ත්තටම අහසේ
බඩගින්නෙ සැර කමට පැන්නාද රහසේ
සමාවක් ඉල්ලන්න බැරි බවත් පැවසේ
නීතියේ ගරුත්වය මේ වැඩෙන් කෙලෙසේ

කාකි නිල ඇ‌ඳුම හා තරු පටිද බැබලුනි
නීතියේ දෙවඟනත් නෙත් පියා හිනැහුනි
අඹ ගෙඩිත් කඩාගෙන කළුවරේ පැමිනුනි
වැරදිකරු පුතු නො‌වෙයි මාය බුදු ස්වාමිනි