ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අප නිවසේ මාල ගිරවා

අප නිවසේ මාල ගිරවා

හේමා ඩෙප් - ලන්ඩනය
2022-November

හොට ලස්සනයි කර මාලය රතුම රතුයි
ගත ලස්සනයි කැරෙන විට පැහැය ගෙනෙයි
හරි ලස්සනයි හදවතෙ මගෙ සතුට පිරෙයි
නුඹ තනිවෙලා ඉන්නා විට මටත් දුකයි

අම්මා තාත්තා කිය කිය කැරකෙන්නේ
කූඩුව තුළට වී කරනම් ගසන්නේ
අක්කා කියා මා අමතා සිටින්නේ
මෑකරලක්ද නුඹ මාගෙන් ඉල්ලන්නේ

පෙත්තා පුතා බත් කෑවයි කියන්නේ
නිවසේ සැමගෙ නුඹ සුරතලයා වෙන්නේ
රැඟුම් රඟන්නට නිතරම වෙහෙසෙන්නේ
නුඹ කූඩුවේ දැක්කම හද කකියන්නේ

සමහර දාට ඇයි නුඹ තරහ වෙලා
කන්නේ නැතිව කූඩුවෙ මුල්ලකට වෙලා
මම දන්නවා ආදරයක් ඕන වෙලා
කියා ගන්න බැරුවයි නුඹ නිහඬ වෙලා

රහසක් මම කියමි කාටත් නොකියන්න
ආසද පෙත්තො නුඹටත් රවුමක් යන්න
තාත්තට හොරෙන් නුඹටත් ඉගිලෙන්න
කූඩුව අරින්නද අහසේ පියඹන්න

පරඬැල් සොයාගෙන ගොස් සෙවනැති ගසක
හදපන් කූඩුවක් තුරු මුදුනේ බෙනක
සැනසීමෙන් ඉන්න නුඹටත් යම් තැනක
පැහැබර කුරුලු කෙල්ලක් හමුවෙයි දිනක

කිසිවෙක් දකින්නට නම් නෑ ගෙදර පුරා
හිටපන් ටිකක් කූඩුවෙ දොර අරින තුරා
ඉගිලී ගොසින් ආදර වන්තියෙක් කරා
ආලෙන් වෙලී කියපන් රස ගීත නුරා

(සත්‍ය කතාවක් ඇසුරිනි )