ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුළවත් පහසක් සැමට ලැබෙන සොඳුරු පරිසරයක් උදා වේවා!

සුළවත් පහසක් සැමට ලැබෙන සොඳුරු පරිසරයක් උදා වේවා!

චම්මින්ද වෙලගෙදර (ග්‍රන්ථ කතුවර)
2024-July

කූටක රාස්ස අව්ව වියළුවා ලූ
මගේ මව්බිම සෝදා උතුරා ගෙන ගියේ මහා වැස්සෙන්.
කඩා දමා ගෙවල් දොරවල්. උදුරවා මහා ගස් ගල්.
බිළි ගනිමින් අහිංසක ජීවිත. එයද ලොවේ කරුමය.
එයද එවන් ජීවිත ලැබූ සැනසුම.
කොතෙක් පායා ගහකොළ පොළොව වියලා
දැමූවත් නෑ මගේ මව්බිමේ තෙතක් නැති
අසාධාරණය ,අවනීතිය අයුක්තිය දූවිලි කරන්නේ .
මුරුගසන් වැහි වැස්සත් ,
දෙගොඩ තලා වැහි දිය දෝර ගියත් නෑ ඒ අසාධාරණය ,
අයුක්තිය හා අවනීතිය සෝදා ගසාගෙන යන්නේ.
ඒ නියඟයත් ඒ ගංවතුරත් ඔවුන්ට වෙස්වළා ගෙන එන
තවත් මඩි පුරවා ගන්නා මගක්.
අහෝ සංසාරය…………..
“ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ”
කොතෙක් ගම්බිම් තෙත් කරමින් වැස්සත්
හීං හිමිදිරියේ ඉඳන් චුරු චුරු ගා වහිනවා අදත්.
ඉස්සර වහිද්දී ගෙඹි හඬ ඇහෙනවා.
ජපන් හයිකු කවියෙක් කියනවා
“ගොවියාට ගෙඹි නාදය සංගීතයක් “කියලා.
ඒත් අපි කියන්නේ
“ඒක මහා කන්දොස්කිරියාවක්” කියලා.
ඒත් ඔබ නිවී හැනහිල්ලේ එය අසා බලන්න
ඒ මොහොතේ විතරක් ඔබේ හිත එහි රන්දා.
අනිවාර්යයෙන්ම අර ජපන් හයිකුව
බොරුවක් නොවේ කියා ඔබට සිතේවි.
පරිසරයේ තියෙන හැම දෙයක්ම කිසියම්
රිද්මයකට හැඩ තල මවන චමත්කාර දනවන දේවල්.
ඒත් අපි ඒවා විඳින්න හදන්නේ නෑ.
වෙලාව අපතේ යනවා කියලා.
ඒත් අපි එහෙම කරලා
ඉතුරු කරගත්තු කාලයෙන්
උපද්දවා ගත්තු අමතර ආදායමක්
හෝ දැනුමක් තියේද?
ටිකක් හිතන්න. But always we are busy.
සංසාරේ හැටි……….
“සංසාරේ හැටි තමයි
වියෝග දුක් පැමිණෙන්නේ
නිවනට ගිය දා මේ හැම
දුක් දුරුවන්නේ….”
එහෙම හිතල උලළේනට දුක කියල වැඩක් නෑ.
අපි අපව තේරුම් නොගෙන.
ජීවිතේ විදවන්නේ අපි ජීවිතේ විඳින හැටි නොදැන.
හරියට සතිපඨ්ඨානය කඩපාඩම් කරගෙන
පටිච්ච්සමුප්පාදය උඩ නිදා ගන්නව වගේ.
අපි ආයෙත් ටිකක් හිතමු.
තමන් දිහා වගේම හැමෝම දිහා,
ගහ කොළ සතා සීපාවා
පරිසරය දිහා ආදරයෙන් බලමු.
මොකද හෙට අනිද්දා නොවෙයි
අද උණත් ඒවා දකින්න ලැබෙන
අවසාන දවස වෙන්න පුළුවන් .
නිවන් පතනවා කියන අපි නිවන්සුව පතන්නේ
පණක් නැති සිතක් නැති දරටවත් ගන්න බැරි කයකට.
එහෙම නැතුව සිහියෙන් ඉන්න
දහම එක්ක ඉන්නවා කියන අයට නිවන් පතමු.
ඒක අසුන්දර,අවගාමී, අසුභ දෙයක් නොවේ.
නිරතුරුවම එය සිහිපත් කරීමෙන්
අපි කරන්නේ එයට ඇති බියෙන් මිදීමයි.
ඒ හා මිතුරු වීමයි. සුළු කරගැනීමයි.
එහෙත් එසේ කීම නපුරක් ලෙස
සුබ මොහොතක ආ හිත රිදවන
කෙටි පයිංඩයක් ලෙසයි අපි හිතන්නේ .
නෑ ඇත්තටම එහෙම සිතීම අසුබ මොහොතක
එන සුබ පැතුමක්.
ජීවිතය කියවන.
එය ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. ජී
විතේ හා බව ගමනේ දේශපාලනය එයයි.
එය සදිසි මිනිස් චරණයයි.

“ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
පොළොවෙත් මිහි සයනය ගොඩ නැඟූ මිනිස්සු
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු.”

ඉතින් අවසර!

25-06-2024.