ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK

2024 ඔක්තෝබර් කලාපය

සුක්කානම

පයින් ආ මග බොහො දුරයි
වෙහෙසයි නෙතේ නැගි කදුළු හංගා
නැවතුනා මග විඩා නිවනට
නොයෙක් රථ නැවතුමට රිංගා
වීවිධ පාටින් හැඩ කෙරුන රථ
නලා හඩවා බෝඩ් හංගා
යන්නේ කොයිබද නොදැන අපිසෑම
පසු දොරෙන් ගොස් ඉතින් නැංගා

නොයෙක් රියදුරු මහත්වරු පදවා ගියා
බස්රථය තැන තැන
මාරු කෙරුවා බෝඩ් එක නෙක වතාවක්
හංගා යනෙන තැන
අනේ රිදෙනවා අපේ ඇගපත කකුල
පමණක් නොවේ හැමතැන
නොයෙක් කදුවැටි නිම්න පසුකොට
ඇද වැටුනා මහා හෙලට අවසන

නැංගා සුක්කානම කැරකුවා
බැස්සා නොයකුත් රියැදුරන්
බලා සිටියා මුන්ට ලයිසන් දුන්නේ
අපිමයි නෙව කියන්
ඉතින් රියදුරු මහත්යෝ මේ
බසයට කොයිබට යන්නේ දැන්
කියල ඇහුවහම මටම ලැජ්ජයි
බිහිරි වී ඇත උන් සවන්

බසය ඉදිරියෙ පොරකනවා රියදුරන්
කිහිපම දෙනෙක් දැන්
බැලුවා විමසා එකා අනෙකා
තල්ලු කරනවා පොර බදන්
නැග්ග රියදුරු මහතායගෙන්
ඇහුවා කොයිබට යන්නේ දැන්
"දන්නේ නැහැ අම්මේ" මමත් මේ
නැග්ගා විතරයි ඉවසපන්

සවන් යොමනා, මිනිස් ගුණඇති
රියදුරෙක් කරකනවා නම්
ඉතින් සුක්කානමද, සුදුසුම තිරිඟද
යොදනවා නම්
කපාගත හැක යන්න පාරක්
හෙලෙන් එගොඩට එන්න නම්
මග කියාපන් ඉතින් මිනිසුනි
මේ වලෙන් ගොඩ වෙන්න නම්
View Poem