
ස්ටීවන් නිත්‍යානන්දන් හෙවත් පහේ පංතියේ මතකය
ඒ ජූලියත් ඇවිත් ගියා
ස්ටීවන්
උඹ තාම ස්වීඩන්
පහේ පංතිය තාම ගල් වෙලා
දෙකේ පංතියේ වැඩ නිසා
පහේදි අපට තිබුණේ
ශිෂ්‍යත්වෙ පන්නන්න විතරයි.
උඹට නම් කිරි කජු
උඹ තමයි ෆස්ට්
අන්ඩර් ඉලෙවන් හර්ඩ්ල්ස්.
ඒත් ස්ටීවන්
ඊට පස්සෙයි වැටුණේ
දිගට හරහට බැරියර්
හර්ඩ්ල්ස් වගේ නෙමෙයි බං බැරියර්.
හොඳයි උඹ ගිය එක
චෙක් වෙවී ඉන්න එක චාටර්.
ඉඳ හිට ගියත් ඉස්කෝලෙට
ගල් ගුහාවේ මරිය සුරුවම පිටුපස
අඩියක් ගහන්නට
කැන්ටිමට නම් යන්නෑ .
උඹ ආස
ටින්කිරි ටී එක බොන්න බෑ
තිත්තයි වගේ.
“පේදුරු උඹ පර්වතයකි.
ඒ පර්වතය මත
මාගේ සභාව ගොඩ නංවමි” යි කී
ජේසු ක්රිස්තුට
ඇණ ගසන්න හොයද්දී
තුන් වතාවක්
ඔහු නාඳුනන බව කී පේදුරුතුමා
තාමත් බලන් ඉන්නවා
ඉස්කෝලෙ තාප්පෙට උඩින්
බැස යන හිරු දිහා
ස්ටීවන්
මෙහෙට ඉර බැස යන කොට
ඔහෙට පායනවද?
අපේ ආගම ටීචර්
අර රතු කොට සිස්ටර් – සැමුවෙල්
දැන් කන්‍යාරාමයේ මදර් සුපීරියර්
මේ ලඟදි දවසක හමු වී
උඹව ඇහුවා
ජේසු පිහිටයි කියන්නත් කිව්වා.
ස්ටීවන්
එන දවසක වරෙන්
මහල්ලෙක් වෙලා හරි කමක් නෑ
පහේ පංතිය ගැන
කතා කර කර ඉන්නට
පුළුවන් වෙච්ච දවසක
හුස්මක් කටක් ගන්නට.
උදේ වරුවක
ටී එකක් බොමු කැන්ටිමේ
රෑ වෙලා
අඩියක් ගහමු ක්ලබ් එකේ.