මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

2025 මැයි කලාපය

සඳක සිනහ....

නෙතට උනන උණු කඳුළින් දෙකපොල හෙමිහිට තෙමන්න
දුකට හඬන රෑසියන්ට රස කවි පදයක් ලියන්න
අඳුර මැදින් කණමැදිරින් එන තුරු එළි වැට ගණින්න
සඳට ඇවිත් පැල ඇතුලට නොහැකිද තනිකම මකන්න

තරම දැනෙන විට සුසුමක, සඳටත් බැහැ හිත නිවන්න
මතක නැතිව ගොහින් වගෙයි මදහස දෙතොලට නගන්න
දුරට නොගිය සුවඳ තවත් තතනයි තුරුලට ඇදෙන්න
කරපු, කරන පින් මදිවද සෙනෙහස ඩිංගක් ලබන්න

සතුට ලැබෙයි දුක කෙළවර, නිහඬව මොහොතක් සිතන්න
නතර නොවී ඉවත ඇදෙන සුළඟක සිසිලස විඳින්න
සිතක උනන කඳුළු බිංදු වැව් දියටම මුසු කරන්න
නොවුණු ලෙසට ඔය කිසිවක් සඳ හිනැහෙයි අර බලන්න

සෙනෙහෙ පබළු මුතු ඇමිණුව කවියක මිහිරස විඳින්න
සිතක සතුට දලු දමමින් මල් පූදින රුව මවන්න
සඳක එළිය ඔය මුහුණෙන් විහිදෙන අයුරුව දකින්න
හිඳිමි මෙතැන ඔබ අසලම රහසකි කිසිවෙකු නොදන්න

Photo Credit; DESIGNECOLOGIST
View Poem