සන්ධ්‍යා

ලාල් හෑගොඩ
ලාල් හෑගොඩ
2021-November

අලුයම සියලු සුන්දරතා තොලගාමින් උරා බොමින්
ගොස් මහනුවරින් බැස්සෙමු. දුම්රියපොළ කටින් එළියට
එද්දී දකුණු පස උස් සිමෙන්ති පඩියක් උඩ ලොතරැයි
වෙළෙන්දියක් මා හා සිනාසුණා.
කොහේ දී හෝ දැක ඇතැයි සිතූ ඒ සිනාව දිගේ ගොස්
ලොතරැයියක් මිළ දී ගනිද්දී, ඇය දික්කර ගෙන සිටි
ලොතරැයි ලෑල්ල, තමා වෙතට ගෙන නොපිට පෙරළා
ළයට තදකර ගත්තා. නැවතත් සිනාසෙණවානේ ද?
“මතක නැද්ද, මම සන්ධ්‍යා ̃
බිරිඳ ද එතැනට ළංවෙන බව හැඟේ විසිර තිබූ මතක
බිඳු එක්වී ඒ රුව සෑදිණි.
මේ ඒ සන්ධ්‍යා ද?
රූසිරු නටඹුන් අතරේ නිරුත්තර වීමි. හරි හරියට ම
කිලුටුවී, තැනින් තැන දියවී ඇතත්, තවමත් ඔසරියමයි
අඳින්නේ. සන්ධ්‍යා නේද මේ?
එකල සන්ධ්‍යා ලොතරැයියක් වීය අප සැමට.
වචන ගොතා ගන්නට මොහොතක් ගත විය. සන්ධ්‍යාට
ඒ නිමේෂය වඩාත් දිගු වන්නට ඇත. ඈ වදන් ඉක්මන්
විය.
“නෑ මහත්තයා මට වැරදුණා. සමාවන්න. දන්න
කෙනෙක් යැයි හිතුවා. ̃
බිරිඳ දෙස යටැසින් බලමින් ලොතරැයියක් විකුණන්නට
ඈ වෙන කෙනෙකු වෙත හැරුණා.
“අනේ ඉස්සර හොඳට ඉන්න ඇති, ලොතරැයි විකුණන්න
වැටුණත් ඔසරිය අඳින්නේ ඉස්සර හොඳට ඉන්න ඇති,
හැඩටත් ඉන්න ඇති, අනේ පව්. ̃
ඉවත්වී එන බිරිඳගේ වදන් තෙතබරය.
එදා සන්ධ්‍යා අද දුටුවා නම් කොතරම් දාහයක් නැඟේදැයි
සිතමින් නිහඬවීමි. දාහයත් රාත්‍රියත් මා තුළ ය අතෙහි
ලොතරැයි පතය.