
“මව්බිම නොසිටියත් අවුරුදු කැවුනේය”!
“සීගල්” හොටෙන් කූජනයක්………… ඇසුනේය,
“රෙඩ්වුඩ්” ගසක එරබදුමල්………….. පිපුනේය,
“ඩෝල්”ඇවරියක් මේසයෙ……………. තිබුනේය,
මව්බිම නොසිටියත් අවුරුදු………… ගෙවුනේය!
“ඔලිව්” තෙලෙන් මුං කැවුමක්………. බැදුනේය,
“ඩිම්බල් සෙට්” එකෙන් කොකිසක්… හැදුනේය,
“කැල් රෝසින්” කිරිබතකුත්……………. ඉදුනේය,
නැකතට නැතත් අවුරුද්දත්…………. කැවුනේය!
රබන් හඬක් ගී තැටියෙන්……………. ඇසුනේය,
ඉටිපන්දමක් මේසයමත……………….. දිළුනේය,
කිරිබත්, කැවුම් සිරිතට ඔහෙ………. ගිළුනේය,
මව්බිම අවුරුද්ද මතකෙට………….. නැගුනේය!
“ලූඩෝ බෝඩ්” එක මේසෙට…………. වැටුනේය,
පංච නැතත් කැටයක් එහි……………. තිබුනේය,
සුද්දෙකු හඬතලනු ගුවනින්…………. ඇසුනේය,
ඔන්චිළි වාරමට මගෙ හිත…………….. පිදුනේය!
බුලතක් නැතත්, සිරිතක් හිත……….. රැඳුනේය,
හිස් දෑතකින් වැඩිහිටියන්……………… පිදුනේය,
නුපුරුදු සඳක් රෑ අහසේ………………… දිළුනේය,
නිකමට වගේ ඒ හඳදෙස…………….. බැළුනේය!
“සීගල්”–මෙහි වසන පක්ෂියෙක්.
“රෙඩ්වුඩ්”– ගස් වර්ගයක්.
“ඩෝල්”– කෙසෙල් වර්ගයක්.
“ටිම්බල් සෙට්”– මැක්සිකන් ජාතිකයින් කොකිස් වැනි කෑමක් සෑදීමට ගන්නා අච්චුවක්.
“කැල් රෝස්” සුදු සහල් වර්ගයක්.
“ලූඩෝ”– පංච දැමීමට සමාන ක්රීඩාවක්.