
කසිකබල් පිරිමිය…
තවම ඈ හැඩය.
පුලුළුකුල සිහින් බඳය
පුන් පියයුරු නිල් වරලය
ඇත් ගමන ඉතින් තව කිම්ද
ඈ ළඳක් සොඳුරුමය.
මග දුටුව උන්ගෙ ඇස් කරකැවෙන
මගේ වීනම් මොහොතකට හිතෙන
ලියකි ඈ දරුවන් වැදුව.
පිට පෙනුම මන බඳින
හිත හිස්ය සෝබරය වියලිය
හිසෙහි මහ මෙරක බරය
සේරෝටම වැඩිය
මේ කසිකබල් පිරිමි ය.
බිරින්දෑ වුනේ පෙර කලය
මිනිහාට වැදූ මම හැඩ මදිය
පොඩි එකාට අවුරුදු තුන පිරෙද්දී ය
අප්පට ආයෙ මල්සරා ආසක්තය.
තනි උනත් ඒ හැටි දෙයක් නැත
ඔව් පාලුවක් තනි කමක් හිතේ ඇත
මහ මග තනි ගමන් ඇත
නිදි යහන හිස් වෙලා ඇත
ඒ ඔක්කොමත් මට දරාගත හැක.
මහත්මිය ආයෙ මෙනවියක් වෙලා ඇත
එයට නම් මගෙන් කිසි සමා නැත.