ඔබ වැරදි නැත මිතුර !

තිළිණි නිසංසලා දිසානායක
තිළිණි නිසංසලා දිසානායක
2021-November

ඉර සයින් රත්වෙච්ච ගිනි පිඹින දවාලක
දූලි පලස් එලූ නුහුරු නුපුරුදු පාරක
අදත් ට‍්‍රැෆික් ඩියුටි පිට පළාතක
ඇමතුමක් දෙන්නවත් ඉඩවරක් නෑ නිම්මිට

උදයෙම පුතා ඉස්කෝලෙ දාගෙන
දිගටම මහගෙදර යනව කිව් හින්දම
ගෙදර වැඩ වැඩිවෙන්නැති කෙල්ලට
වියදම් ඇතිවුණිද මන්ද ඈට මඟටම

හවසට ගොඩවෙනකොටම ගෙපළ පඩියට
ගඩොලින් ගඩොල හීන නැංවෙනව දුටුවම
සන්තෝසේ හිත පුරා විඳගන්න බෑ මට
ඇගෙ පාලු කරටමයි යන්නෙ මේ ඇස් දෙක

ණයතුරුස් කැපෙන විට පඩි දවසට
අත ඉතුරුවක් නැතත් අන්තිමට ගාණ බැලුවම
ඈ ආස අර ලා රෝස මල් වැටුණු සාරිය
හොරෙන්ම අරන් එනවා ලබන මහ පඩි ගත්තම

අව්රැල්ල කපාගෙන කල්පනා දියඹ හිඳගෙන
එස්.යූ.වී. රාජයෙකි දිව එන හැල්මේ පිඹගෙන
මැද ඉරක් කපා නොකපාම යන්තමට
වැදුණා තිරිංගය කරස් ගා හීගඩු පිපීගෙන

ලෝහිතෙන් ඔපලූ සැප රියකි බැලූ බැල්මට
පවර් ෂටරයෙන් නුවරඑළි සිසිල වෑහෙන
තරුණ පෙම් යුවළකි දුරට පේන තරමට
ලියමි ද නොලියමි ද දඩ කොළය? මං දෙලොවක

“ඉර කැපුවෙ නෑ ඔෆිසර් මං ” කියාගෙන
නාදුනන තරුණෙකි රිය’සුනෙන් බැස නිලක් මිට මොළවගෙන
යාබද අසුනේ කදිම සිරිලියකි දෝත මුව රුවාගෙන
ළගට ළං වී බැලිමි විපිළිසර හැඩුම් හඩ කාගෙද?

දඩ කොළ ද රොස් පරොස් කාට පවරමිද මේ දොස
ඔබ වැරදි නැත මිතුර රිය පැදන් ආවාට
ඇය පමණි කැපුවේ මෙතෙක් ආ දිවිම‍‍‍‍ගේ තනි ඉර
සිහින් දිගු වෙදගිල’ඟ තවම මගෙ මුදුව පළදින

2021.10.22