
අහස සහ සත්‍යය
නිමිත්ත: හැමදාම නින්දට පෙර අපේ ගෙදර බැල්කනි එකේ සිට අහස බලන මට, ඊයේ දකින්න ලැබුනේ දැඩි සඳ රැස් වලින් එළිය වුනු, සමීප, ‘කුඩා’ අහසක්.
සඳ පායා ඇති
පසළොස්වක අහසේ
රසපරමවාදී
විඥාණවාදයේ
සොඳුරුබව එපා මට.
විශ්වයේ තිතක් වන්
අපගේ නොවටනා ලෝකය
පසුපසින් පැමිණෙනා
පුංචි මළ ග්රහයෙකු මත
පරාවර්තිත
දුබල ආලෝකයෙන්
නොසඟවනු මැන රාත්‍රිය.
පැස්කාල් බියෙන් තැති ගැන්වූ
කාන්ට් විශ්මයෙන් ඇළලූ
අඳුරු අපරිමිත විශ්වයේ
නොනිමි තාරකාවන් පිරුණු
බිහිසුණු
නිහඬ
හුදෙකලා
අමාවක අහස මට දෙන්න!
හේගලියානු,
ලෝකයේ රාත්‍රිය මට දෙන්න!