
අප්පච්චි
අප්පච්චි පැළකරපු
දොරකඩ පොල්ගහේ
අතු දෙකක් මැදට වී
හඳ සිනා සලනවා
මං හොරෙන් අඬනවා
අප්පච්චි පැළකරපු
සුදු හඳුන් ගහ පුරා
කණාමැදිරි එළි ඇවිළි දිළෙනවා
මගේ කඳුළෙ ඒ එළිය නිවෙනවා
අප්පච්චි පැළ කරපු
සේපාලිකා ගහෙ
මල් සුවඳ රෑ පානෙ ඇදෙනවා
සුසුම් සැර වැඩි නිසා
යළිත් ආපසු හැරී
මටත් රහසින් නොරඳ
දුවනවා